ගම් දස දහසකට තාක්ෂණ ක්‍රම යොදාගෙන කඩිනමින් පානීය ජලය ලබා දීමට පියවර -රාජ්‍ය අමාත්‍ය වාසුදේව-

ගම් දස දහසකට තාක්ෂණ ක්‍රම යොදාගෙන කඩිනමින් පානීය ජලය ලබා දීමට පියවර -රාජ්‍ය අමාත්‍ය වාසුදේව-

තවත් ප්‍රජා ජල ව්‍යාපෘති දස දහසක් ඇති කිරීමට අපි කටයුතු කරන බවත්, එය නවීන තාක්ෂණය උපයෝගී කරගෙන කඩිනමින්  සාර්ථක කර ගැනීමට පියවර ගන්නා බවත් අමාත්‍ය වාසුදේව මහතා පවසයි.

 

දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව ක්‍රියා කරවීම පිළිබඳව තලවතුගොඩ පිහිටි ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේදී පැවති වැඩමුළුව අමතමින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙහි නායක, ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා  මේ බව පැවසීය.

එහි වැඩි දුරටත් අදහස් දැක් වූ නානායක්කාර මහතා, අපි කතා කරන්නේ ප්‍රජා ජල දැක්ම ගැන සහ දර්ශනය ගැන. සියලුම දුෂ්කර ගම්මානවලට පානීය ජලය ලබා දීම පිළිබඳ අභියෝගය පිළිබඳවයි. ඒ සඳහා තමයි මේ දෙපාර්තමේන්තුව පිහිටෙව්වේ. ලෝක බැංකුවෙන් ණය මුදල්, පහසු කොන්දේසි මත ලබා දී ඇත. ඒ නිසා මේ ක්‍රියාදාමය අවුරුදු 40ක් පමණ ටිකෙන් ටික පුළුල් වෙමින් අද වන විට රට පුරා ප්‍රජා ජල ව්‍යාපෘති 5000ක් පමණ ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත. එය සුළු ගණනක් නොවෙයි. පවුල් ලක්ෂ 7ක්, තුන්ලක්ෂ පනස් දහසක ජන ගහනයක් මේවාගෙන් ප්‍රයෝජනය ලබනවා. මෙහි විශේෂත්වය ජනතාවගේ ශ්‍රම දායකත්වයෙන් මේවා ක්‍රියා කරනවා. අපි එහි මැදිහත්කරුවෝ. අපි ඔවුන්ට අවශ්‍ය දේවල් ලබා දෙනවා, අවශ්‍ය යනුත්‍ර දෙනවා, නළ ලබා දෙනවා, විදුලිය ලබා දෙනවා. මේ තමයි අපේ මඟ පෙන්වීම; උපදේශනය.  ගමට ජලය සපය ගන්න ඒ අය නොකා නොබී හරි ඇවිල්ලා ශ්‍රම  දායකත්වය දීලා ඒ දේවල් කර ගන්නවා. ජලය ලබන දවස කියන්නේ ගමකට මඟුල් උත්සවයක් වගෙයි. අවුරුදු හතළිහකට පෙර මම නියෝජනය කළ ආසනයේ එවැනි උත්සවයකට සහභාගී වුණා. එදා ඒ මිනිසුන්ගේ හිතේ සතුට මං දැක්කා.

නඩත්තුවයි, හොයා බලා රැක ගැනීමයි, ඇතිවන දුෂ්කර බාධා මැද යම් යම් තැන්වල  හාරසියයක් පමණ ව්‍යාපෘති අක්‍රීය වී තිබෙනවා. ඒවා නැවත සක්‍රීය භාවයට පත් කර ගැනීම අපේ අභියෝගයයි. මේ තමයි ප්‍රජා ජල සංකල්පය තව ගම් දසදහසකට පමණ යා යුතුයි. ඉදිරි ගමන දිගයි. තාක්ෂණ දියුණුව සමඟ දිග ගමන කෙටි කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. නලධාරීන් සහ ප්‍රජා සමිති අය දැනුවත් කරලා. මෙම ගැටලු නිරාකණය කළ හැකිය. ඒ අයට වෙබ් අඩවියක් හදාගෙන එයින් තොරතුරු ගන්න. අලුත් තලයකට ඇවිත් තියෙනවා මේ ක්‍රියාදාමය. මම ප්‍රධාන නිලධාරීන්ට විතරක් නෙවෙයි සියලු නිලධාරීන්ට ප්‍රශංසා කරනවා. ඔබගේ සාමූහික ප්‍රයත්නය නැත්නම් මේ දේවල් කර ගන්න බැරි වෙනවා.

ජල ගාස්තු අවුරුදු තුනෙන් තුන වැඩි කරන්න ඕන. හැම ආණ්ඩුවම පස්සට දැම්මා. එය ජනයාට තදින් බලපාන නිසා. දැනට ගාස්තු වැඩි වීමක් වෙලා නෑ. අපි ඉදිරියේ දී  ඒකක පහළොවට වඩා පරිභෝජනය කරන අයට ඉල්ලීමක් තියෙනවා දැනට වඩා වැඩි මුදලක් ගෙවන්න. අපි ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.

ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික්ක භාර නිලධාරීන් සහ තාක්ෂණික නිලධාරීන් සහභාගී වූ මෙම වැඩමුළුවට ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. එච්. හරිශ්චන්ද්‍ර, අතිරේක ලේකම් පාලිත වීරසිංහ, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජයලත් හේරත්, රාජ්‍ය ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ සරත් රණසිංහ, සම්බන්ධීකරණ ලේකම් ඩී.වී.ජී. තිලකසිරි යන මහත්වරු සහභාගී වූහ.

 

ඒ.හිල්මි මොහමඩ්

මාධ්‍ය ඒකකය