අගමැතිතුමාගේ බලාපොරොත්තුව සියලු දෙනාටම ආරක්ෂිත පානීය ජලය ලබාදීමයි.- රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර –

අගමැතිතුමාගේ බලාපොරොත්තුව සියලු දෙනාටම ආරක්ෂිත පානීය ජලය ලබාදීමයි.- රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර –

අගමැතිතුමාගේ බලාපොරොත්තුව සියලු දෙනාටම ආරක්ෂිත පානීය ජලය ලබාදීමයි.

  • රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර –

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කලින් සියලු දෙනාට විදුලිබලය ලබා දුන්නා. ඒ වගේම මෙවර සියලු දෙනාට පානීය ජලය ලබා දීම එතුමාගේ බලාපොරෙත්තුව බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

වන්නි ප්‍රදේශයේ ක්‍රියා කරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රස් පක්ෂ නායක ප්‍රභාගනේෂන් මහතා ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යතුමා හමු වී වන්නි ප්‍රදේශයේ ජනතාව පානීය ජල ප්‍රශ්නය නිසා මුහුණ පාන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමේ දී වාසුදේව නානායක්කාර මහතා  මේ බව පැවසුවේය.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය නානායක්කාර මහතා, ජල ගාස්තු සංශෝධනය අවුරුදු 3කට වරක් සිදු කළ යුතුයි. නමුත් අවුරුදු හයකින් එය වෙලා නෑ. ජල ගාස්තු  සංශෝධන අවස්ථාවක් තියෙනවා. මෙහිදී කථා කරන්නේ වැඩියෙන් නළ මාර්ගික ජලය පරිභෝජනය කරන පුද්ගල පරිභෝජනය පිළිබඳවයි. ජල නාස්තිය වළක්වාලීම පිළිබඳව ද විසඳුම් සෙවිය යුතුයි. ජල බෝතල්වල මිල පිළිබඳව ද ප්‍රමිතිය පිළිබඳව ද සොයා බැලීම කළ යුතුයි.

වන්නි ප්‍රදේශයේ පානීය ජල ප්‍රශ්නයෙන් පීඩා විඳින ජනතාවට කඩිනම් විසඳුමක් වශයෙන් සියලු නිවාසවලට වතුර පෙරනයක් ලබා දීමට පියවර ගන්නවා

දැනට කරගෙන යමින් තිබෙන ජල යෝජනා ක්‍රම තිබෙනවා. එම ව්‍යාපෘති තමයි ඉදිරියටම කරගෙන යන්නේ. අනෙක් ප්‍රදේශවල වගේම වන්නි ප්‍රදේශයටත් පිරිසිදු පානීය ජලය ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අප ගෙන යන වැඩ පිළිවෙළට විශාල මුදලක් වැය කරන්න වෙනවා.

පොළොන්නරු අනුරාධපුර ප්‍රදේශවලත් මේ වකුගඩු සම්බන්ධ ගැටලුව තිබෙනවා. අපි එම ප්‍රදේශවලටත් පෙරහන් යන්ත්‍ර ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මෙහි දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දුන් නානායක්කාර මහතා. ජලය ලබා ගන්නා ප්‍රධාන මූලාශ්‍රයක් වන්නේ කැලණි ගඟයි. අනෙක් මූලාශය වන්නේ කළු ගඟයි. මෙම ගංඟාවල ජලයට ඉහළ ප්‍රදේශයේ නිවාස සහ හෝටල්වලින් මිනිස් අපද්‍රව්‍ය හා වෙනත් අපද්‍රව්‍ය මිශ්‍ර වෙනවා. අසුචි මිශ්‍ර ජලය කොළඹ නගරය තුළ බෙදා හරින්නේ නම් එය අප මණ්ඩලයෙන් බෙදා හරින ජලය නොවෙයි. එය පෞද්ගලික ළිංවලින් බෙදාහරින ජලය විය හැකි ය. තව ද පරිසර අමාත්‍යාංශය, ජල සම්පාදන ආයතන සමඟ එකතු වී තමයි මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා දිය යුත්තේ.

තව දුරටත් අදහස් දැක් වූ නානායක්කාර මහතා, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රස් පක්ෂ නායක ප්‍රභාගනේෂන් අප හමුවීමට හා සුබ පැතීමට එක්වීම පිළිබඳව වන්නි පළාතේ ජනයාට තිබෙන දුෂ්කරතා පිළිබඳ ජලය සම්බන්ධයෙන් අපේ අවධානයට ලක් වී තිබෙන බව ජනයා දැන ගත යුතුයි. අපි එකතු වී ගිවිසුමක් හදාගෙන තිබෙනවා එකතු වී කටයුතු කිරීමට. ඒ සදහා එතුමා විශාල මෙහෙවරක් ඉටු කළා

මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රභා ගනේෂන් මහතා, වන්නි ප්‍රදේශය වන මන්නාරම, වවුනියාව සහ මුලතිවු යන දිස්ත්‍රික්ක තුනෙන් ම බහුතර ජනතාවට පිරිසිදු පානීය ජලය ලැබෙන්නේ නෑ. මන්නාරම සහ වවුනියා යන නගරවල නගර සභා බල ප්‍රදේශවල වෙසෙන හැත්තදහසක් ජනතාවට  නළ මාර්ගික පානීය ජලය ලැබුණ  ද මෙම ප්‍රදේශයේ වෙසෙන ලක්ෂ 5කට අධික ජනතාවට ආරක්ෂිත පානීය ජලය ලැබෙන්නේ නැහැ.

මෙම ප්‍රදේශයේ භූගත ජලයට මිනිස් ජීවිතයට අහිතකර රසායන ද්‍රව්‍යයක් මුසු වී තිබෙන හෙයින් ළිංවලින් ලැබෙන ජලය පානය කරමින් බොහෝ දෙනා වකුගඩු රෝගයට ලක් වී තිබෙනවා. අඩු ආදායම් ලැබෙන ජනතාවටත් එක් වතුර ලීටරයකට රුපියල් 3ක් බැගින් වැය කිරීමට සිදු වී තිබෙනවා. එම නිසා වන්නි ප්‍රදේශ ජනතාවට ආරක්ෂිත පානීය ජලය ලබා දිමට ඉක්මනින් පියවර ගන්නා ලෙස මම වාසුදේව නානායක්කාර මහතාගෙන් ඉල්ලීමක් කළා.

වත්මන් රජයේ ජල සම්පාදන පහසුකම් අමාත්‍ය ධුරය වාසුදේව නානායක්කාර මහතාට ලබා දීම වන්නි ප්‍රදේශයේ ජනතාවට වරප්‍රසාදයක් වන බව ද සඳහන් කළ යුතුය.

 

ඒ. හිල්මි මොහමඩ්

මාධ්‍ය අධ්‍යක්ෂ

ඡායාරූප – තනුජ ප්‍රදීප්