ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සංගමයේ නිහඬතාව රටේ ප්‍රශ්න ඇතිකරන අයට අනුබලයක් වුණා- අමාත්‍ය රවුෆ් හකීම්

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සංගමයේ නිහඬතාව රටේ ප්‍රශ්න ඇතිකරන අයට අනුබලයක් වුණා- අමාත්‍ය රවුෆ් හකීම්

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සංගමයේ නිහඬතාව රටේ ප්‍රශ්න ඇතිකරන ඇතැම් අය අනුබලයක් වුණා යැ යි නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින එනම් 2019/08/21 දින පැවති, බොරැල්ලේ අලුතින් ඉදිකරන ලද වෛද්‍ය විද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ අධ්‍යයන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සංගමයට වගකීමක් තිබුණා රටේ ජනතාව වෙනුවෙන් සත්‍ය පැහැදිලි කරන්නට. නමුත් එක්තරා සිදුවීමක් අවස්ථාවේ දී ඔවුන් නිහඬ වුණා. එම නිහඬතාව නිසා ජනතාවගේ සිත් තුළ සැකය හා බිය ඇති වුණා පමණක් නොව ගෞරවාන්විත වෛද්‍ය වෘත්තියට ද එයින් කිසියම් හානියක් සිදු වුණා. අනවශ්‍ය නිගමනවලට පැමිණෙන්නට අවශ්‍ය වටපිටාව එයින් හැදුණා කීවොත් නිවැරදි යි. මෙරට පමණක් නොව විදේශයන්හි වෛද්‍ය විද්‍යාව සම්බන්ධ සඟරාවල එවැනි දේවල් වෛද්‍ය විද්‍යාත්මක ව සිදුවිය නොහැකි බැව්  සඳහන්කොට තිබුණා.  එයින් රට ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත්වුණා.අපි දන්නවා වසරකට පශ්චාද් උපාධි පාඨාලා 130ක් පමණ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විවිධ විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ පැවැත්වීම සහ පිරිනැමීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි කියලත්.

අපි දන්නවා කොළඹ වෛද්‍ය පීඨය මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සමාරම්භක ආයතනයක් වශයෙන් පැවතුණා. කොළඹ වෛද්‍ය පීඨයට මාලදිවයින් සිසුන් 10කට අධ්‍යයන අවස්ථා ලබා දෙන අතර ම මාලදිවයිනේ වෙන ම දූපතක කොළඹ, පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි නව පීඨ ඉදිකිරීමට අවශ්‍ය කටයුතු ද මේ වනවිට ක්‍රියාත්මක ව පවතිනවා. ඊට අවශ්‍ය අවබෝධතා ගිවිසුම් මේ වනවිට අත්සන් කිරීමට ද නියමිත යි. ඒ අනුව මුල් අවුරුදු කීපයක් මාලදිවයිනේ අධ්‍යාපනය ලබන්නට ත් පසුව ශ්‍රී ලංකාවට පැමිණ අධ්‍යාපනය ලබාගන්නට ත් සිසුන්ට අවස්ථාව ලැබෙනු ඇතිමේ වසරේ අලුතින් වෛද්‍ය සිසුන් 250ක් වැඩිපුර වෛද්‍ය විද්‍යාල සඳහා ඇතුළත් කර ගන්නට අපි කටයුතු කර තිබෙනවා. එමෙන් ම පසුගිය ආණ්ඩුව සමයේ මෙන් දෙගුණයක පමණ මුදල් වෙන් කරන්නට ත් අපට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව වයඹ හා සබරගමුව විශ්වවිද්‍යාලවල අලුතින් වෛද්‍ය පීඨ ඉදි කරන්නට ත් අපට හැකි වුණා. ඒ අනුව වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අපි විවෘත කළා. සබරගමුව විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය ඉදිරි සතියේ විවෘත කරන්ට ත් නියමිත යි. එමෙන් ම රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වැඩිපුර සිසුන් 100ක් වැඩිපුර ඇතුළත් කරන්නට ත් මේ වනවිට කටයුතු කර තිබෙනවා. . යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් ඩී.එම්.පී.කේ මායාදුන්නේ මහතා, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති මහාචාර්ය පී.එස්.එම් ගුණරත්න මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා එන්.විජේරත්න මහත්මිය,සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, පශ්චාද් උපාධි වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජනක ද සිල්වා මහතා ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.