මුළු මාතරටම සහ හම්බන්තොටට පිරිසිදු පානීය ජලය ලබා දීමට කඩිනම් පියවර.

මුළු මාතරටම සහ හම්බන්තොටට පිරිසිදු පානීය ජලය ලබා දීමට කඩිනම් පියවර.

ජල බිල්පත් වැඩි කිරීමට අපේ ආණ්ඩුව කැමති වුණේ නැති වුවත් ජනතාව ජල සම්පාදනයේ පහසුකම් සුපුරුදු පරිදි භුක්ති විඳිනවා. අපිට ඒක සතුටක්. ජල සම්පාදන මණ්ඩලය ඉතා අසීරුවෙන් වුව ද සමස්ත ජනතාවටම ජලය සැපයීමේ කාර්යය දිගටම සිදුකරගෙන යාමම අගය කළ යුත්තක්. යනුවෙන් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලකී ජයවර්ධන මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2019.06.27 වැනි දින මාතර ජලසම්පාදන ව්‍යාපෘතියේ 4වන අදියරේ මාතර මාලිම්බඩ ජල පොම්පාගාරය සහ පවිත්‍රාගාරය සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගී වෙමිනි.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මේ මඟින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක පිහිටා ඇති ග්‍රාමසේවක වසම් 372ක ජීවත්වන පවුල් ලක්ෂ 03කට ආසන්න ජනතාවකට මේ මඟින් සුරක්ෂිත පානීය ජලය සැපයීමට අපේක්ෂිතයි. තිරසර සංවර්ධන ඉලක්ක අනුව 2030 දී සැමට පිරිසිදු පානීය ජලය සැපයීම අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා රජයෙන් රුපියල් මිලියන 4208ක් ආයෝජනය කොට තිබෙන අතර විදේශ ආධාර වශයෙන් රුපියල් මිලියන 14000ක් ලැබී තිබෙනවා.

මේ ස්ථානයෙන් දිනකට ජල ඝන මීටර් 60000ක් පමණ පිරිසිදු පානීය ජලය බවට පත් කරන්නට පුළුවන්. මෙම ව්‍යාපෘතිය සඳහා මාලිම්බඩ, ගල්කෙටිය, යටියන, දන්දෙණිය, කොඩිගහ කන්ද, මිරිස්වත්ත යන ප්‍රදේශවල භූගත ටැංකි ඉදි කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙමඟින් දැනට ජලය ලබා ගන්නා පාරිභෝගිකයින්ගේ ජල සැපයුම් සේවා තත්ත්වයන් ඉහළ දැමීම, උස් භූමි ප්‍රදේශවල වාසය කරන්නන්ට ජලය ලබා දීම සහ දැනට පවතින සේවා තත්ත්වයන් පුළුල් කිරීම, පැරණි ජල නල පද්ධති ප්‍රතිස්ථාපනය මඟින් ජලය අපතේ යෑම් අවම කිරීම සහ පානීය ජලයට ලවණ මිශ්‍ර වීම වැළැක්වීම ද අරමුණු කරගෙන තිබෙනවා.

දැනට පවතින මාතර-මිරිස්ස ඒකාබද්ධ ජල සැපයුම යටතේ 285000කට ආසන්න පිරිසක් ජලය ලබා ගන්නා අතර මෙම ව්‍යාපෘතිය මඟින් වසර 2046 දී මාතර, තිහගොඩ, දෙවිනුවර, දික්වැල්ල, වැලිගම, වැලිපිටිය, මාලිම්බඩ, කඹුරුපිටිය, කිරින්ද, පුහුල්වැල්ල, අතුරලිය, බෙලිඅත්ත, සහ තංගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ජීවත්වන තවත් 285000 කට පමණ පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට අපේක්ෂා කෙරෙනවා.

මේ සඳහා අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය බුද්ධික පතිරණ මෙන් ම මේ අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා ද මාතර දිස්ත්‍රික් ජනතාව සියලු දෙනාට ම පිරිසිදු පානීය ජලය ලබා දීමේ කටයුත්ත වෙනුවෙන් කළ කැපවීම මා මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒවගේම ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති සහ එම සේවකයන්ගේ නිරන්තර කැපවීම ඇගයීමට මේක මොහොතක් කර ගතයුතුමයි. මෙය ඒ තරම් විශාල ව්‍යාපෘතියක්. රටට සෙතක්.

අපි 2015 ජනවාරිවල ජනාධිපතිවරයෙක් පත් කරලා, එම වසරේ අගෝස්තුවල මැතිවරණයෙන් ජාතික රජයක් පිහිටුවීම ත් සමඟ කිසියම් ආකාරයක තීන්දු තීරණ ගැනීමේ දී ගැටලු ඇති වුණා. නමුත් නීති විරෝධි ආණ්ඩු පෙරළියෙන් පසු ව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිරිසිදු ලෙස නිර්මාණය කරන්න හැකිවීම තුළ ජනතාවට ලබා දිය හැකි පහසුකම් සහ සේවය වඩා වර්ධනය කර ගන්නට අපිට පුළුවන් වුණා.

පසුගිය රජය විසින් මේ රට ණය උගුලක පටලවා තිබ්බා. ඒ ණය උගුලෙන් දැන් අපි අමාරුවෙන් ගොඩ එමින් පවතින යුගයක එන්නේ. තවදුරටත් ඒ ආණ්ඩුව තිබ්බා නම් අද අපි හොඳට ම අමාරුවේ වැටිලා. ජනතාවට අවශ්‍ය වෙනස ජනතාව ම තීරණය කරලා සිදු කළෙත් ඒකයි. එහි ප්‍රතිඵල ජනතාවට ලැබෙමින් පවතිනවා. 2015 වන විට 42% වෙලා තිබුණු ජාතික ජල සැපයුම මේ වනවිට සියයට 50 ඉක්මවනවා. ඒවගේ ම 2020 වනවිට එය සියයට 60 දක්වා වර්ධනය කරන්නට අපිට හැකි වෙනවා.

අපි දන්නවා මේ රටේ පවතින හැම වැඩකට ම නායකත්වය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂය බව. විපක්ෂය හැම මොහොතෙ ම කකුලෙන් ඇද්දත් අපි ඒකට පසු නොබැස කටයුතු කරනගෙන යනවා ජනතාව වෙනුවෙන්. යනුවෙන් ද පැවසී ය.

මෙහිදී අමාත්‍යවරුන් වන සාගල රත්නායක හා බුද්ධික පතිරණ මහත්වරුද ජනතාව අමතා අදහස් දක්වන ලදි.  වැලිගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ගයාන් සංජීව, පළාත් සභා මන්ත්‍රී කපිල ගමගේ, ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, නාගරික මන්ත්‍රීවරුන්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු කේ.ඒ. අන්සාර්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.

 

ඒ. හිල්මි මොහමඩ්

මාධ්‍ය අධ්‍යක්ෂ