US Ambassador meets Minister Hakeem

US Ambassador meets Minister Hakeem

අප රටේ සියලු ජන කොට්ඨාශයන් සමඟ ඉතා සුහදව ජීවත් වූ මුස්ලිම් සමාජය මෑතකදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම්වලින් පසුව තනිවීමකට ලක් වී ඇති බව දැනෙන බවත් මුස්ලිම් සමාජය බියෙන් ජීවත්වන නිසා එම බිය සැක තුරන් කිරීමට ඉක්මන් පියවර ගත යුතු බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

එක්සත් ඇමරිකානු තානාපති ඇලිනා බී. ටෙප්ලිස්ට් මහත්මිය නගර සැලසුම්,ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන ඇමති රවුෆ් හකීම් මහතාව එතුමාගේ නිල නිවසේ හමු වී කරන ලද සාකච්ඡාවේදී මේ බව සඳහන් කර ඇත.මෙම අවස්ථාවට ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු භාර නිලධාරී ජෝ ඇන්නා ද සහභාගී විය.

මෙම සිදුවීම පිටුපස සිටින හස්තයන් සොයා ගැනීමට රජය වැඩි අවධානයක් යොමු කරන අතර මීට කලින් ඇති වූ යුද්ධය සහ සිදුවීම්වලට වඩා මෙම ත්‍රස්ත ක්‍රියාව වෙනස් ආකාරයේ එකක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මද්රසා අධ්‍යාපනයට ආගමික විෂයන්වලට අමතරව  ලොව පිළිබඳ පොදු විෂයන්ද ඇතුළත් කිරීමේ අවශ්‍යතාවයක් උද්ගත වී ඇති බවත්  ඇමතිතුමා පෙන්වා දුන්නේය.තව ද අප රටේ විශ්වවිද්‍යාලවල තත්වයන් වැඩි දයුණු කිරිමේ ක්‍රමවේද අනුගමනය කරන බවත් සඳහන් කළේය.

 

ඒ. හිල්මි මොහමඩ්

මාධ්‍ය අධ්‍යක්ෂ