රටේ සංහිඳියාවට හානි කරන සංවිධාන බිහි වීම වැළැක්වීමට සියලු ම ආගමික නායකයන් වග බලා ගතයුතු යි- අමාත්‍ය රවුෆ් හකීම්

රටේ සංහිඳියාවට හානි කරන සංවිධාන බිහි වීම වැළැක්වීමට සියලු ම ආගමික නායකයන් වග බලා ගතයුතු යි- අමාත්‍ය රවුෆ් හකීම්

ත්‍රස්තවාදීන් සමඟ පැවති යුද්ධය අවසන් වීමත් සමඟ ම රට පුරා විවිධ අන්තවාදී ආගමික සංවිධාන බිහිවීමට පටන් ගත්තා. ඒ නිසා රට තුළ විවිධ අවස්ථාවන්හි ගැටුම් ද නිර්මාණය වුණා. හැම ආගමක් ම නියෝජනය වන පරිදි එවැනි සංවිධානය බිහිවන ආකාරය අපි දැක්කා. එවන් සංවිධාන බිහි නොවීමට වගබලා ගැනීම ආගමික නායකයන්ගේ වගකීමක් ලෙස සලකනවා නම් හොඳයි. සුළු සුළු සිද්ධීන් හේතු කරගෙන අපි අතරේ අතිකර ගන්නා වූ මේ අන්තවාදය තුරන් කිරීමට නම් ඉවසීම, සංහිඳියාව වැනි දේ ප්‍රගුණ කළ යුතු යි. යනුවෙන් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා මේ බැව් ප්‍රකාශ කළේ බදාදා(03) රත්නපුර පලාබද්දල ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද දෙමහල් විශ්‍රාමශාලාව ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ශ්‍රී පාදය වන්දනා කරන්නට යන බැතිමතුන් වෙනුවෙන් විශ්‍රාම ශාලාවක් ඉදිකර දෙන ලෙස මගෙන් ඉල්ලීමක් කළේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ.විජේතුංග මැතිතුමා. එවැනි අතිශයින් ම වැදගත් සහ ප්‍රයෝජනවත් කටයුත්තක් සඳහා දායකත්වය ලබා දීමට මම ඉතා ම කැමති වුණා. නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙම විශ්‍රාම ශාලාව සඳහා අවශ්‍ය තවත් අවශ්‍යතාවන් තිබෙන බවත් ඒ සඳහා කඩිනමින් අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් මෙහි දී පවසන්නට කැමතියි. අපි කවුරුත් ආගම් භේදයකින් තොරව වසරේ මුල් මාස කිහිපය තුළ ශ්‍රී පාදය වන්දනා කරන්නට යනවා. ශ්‍රී පාදය කියන්නේ මේ රටේ ආගමික සංහිඳියාවේ සංකේතයක්. එවැනි පුදබිමකට ප්‍රවේශවන පළාපත්වල ප්‍රදේශයේ විශ්‍රාම ශාලාවක් තිබීම අත්‍යවශ්‍ය කරුණක්.

රටට නිදහස ලැබීෆමන් පසු ව ජාතික කොඩිය නිර්මාණය කිරීමේ දී යෝජනා කිහිපයක් ඉදිරිපත් වුණා ජාතික කොඩියට ශ්‍රී පාද ලාංඡනය ඇතුළත් කිරීම සම්බන්ධව. ඒ පිළිබඳ දීර්ඝ විදියට සාකච්ඡා වුණා. දීර්ඝ විවාද ඇති වුණා. මක්නිසාද ශ්‍රී පාදය පිළිබඳ හැම ආගමික පාර්ශ්වයක් තුළ ම විශ්වාසය රැඳී තිබෙන බැවින්. බෞද්ධයන් විශ්වාස කරන පරිදි ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී පාද ලාංඡනය ලෙස ත් ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගමිකයින් මෙය පළමු දේව දූතයාගේ පාදය ලෙසත් විශ්වාස කරනවා. ක්‍රිස්තියානි ආගමට අනුව ලෝකයේ පළමු පුද්ගලයා වන ආදම් නොමැති නම් ඇඩම්ස් තමන්ගේ පළමු වරද කළාට පසුව පහළ වුණේ ශ්‍රී පාදයට කියලා මතයක් ඔවුන් විශ්වාස කරනවා. එය ‘ඇඩම්ස් පීක්-Adams Peak ලෙස ඉංග්‍රිසියෙන් හඳුන්වන්නෙත් ඒ නිසා. එක් එක් ආගම් තමන්ගේ විශ්වාසයන් ඒ ඒ පරිදි ශ්‍රී පාදය වෙත තබා තිබෙනවා. මෙවැනි විශ්වාස තුළ ගොඩනැඟුණු මේ පූජනීය ස්ථානය වෙනුවෙන් මෙවැනි දායකත්වයක් ලබාදීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකනවා. ඒවගේ ම සමන් දෙවියන් පිළිබඳ විශ්වාසයටත් බෝහෝ දෙනෙක් ගරු කරනවා.

සබරගමු සමන් දේවාලයට මම මීට වසර 20කට පමණ එන විට එය කඩා වැටීමට ආසන්න තත්ත්වයේ තිබුණා. පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා එම දේවාලය නවීන පහසුකම් සහිතව සංවර්ධනය කොට තිබෙන ආකාරය දුටු විට සතුටු හිතෙනවා. රුපියල් මිලියන 90ක් පමණ වැය කරලා එතුමා එම භූමිය සංවර්ධනය කිරීමට කටයුතු කිරීම පිළිබඳ ඉතා ම සතුටට පත්වෙනවා. අපේ රජය හරහා නොයෙකුත් සංවර්ධන කටයුතු, භෞතික සම්පත් ලබාදීමේ කටයුතු රාශියක් කරලා තිබෙනවා. මෙවැනි පුරාණ උතුම් දේවස්ථානයක් විශාල මුදලක් වෙන් කරලා ප්‍රතිසංස්කරණය කිරීම ගැන චම්පික ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග මැතිතුමා, නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඒ.සී.එම්.නෆීල් මහතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලින් ලොකුපොත්ගම මහත්මිය, පළාපත්වල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන්, පොදු ජනාතාව විශාල පිරිසක් ද එක් වූහ.