2030 වනවිට පරිපහදු කර ජනතාවට ලබාදෙන ජල ප්‍රමාණය දෙගුණයක් බවට පත් කරනවා. – අමාත්‍ය රවුෆ් හකීම්.

2030 වනවිට පරිපහදු කර ජනතාවට ලබාදෙන ජල ප්‍රමාණය දෙගුණයක් බවට පත් කරනවා. – අමාත්‍ය රවුෆ් හකීම්.

අපි දැනට පිරිපහදු කරන පානීය ජලය ප්‍රමාණය ඝන මීටර් මිලියන 1.5ක් වෙනවා. මෙය 2030දී දෙගුණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. යනුවෙන් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ ලෝක ජල දිනය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.

මෙවර ලෝක ජල දින තේමාව වනුයේ ‘කිසිවකු අත නොහරිමු’ යන්නයි. මේ තේමාව තුළ ම අපට විශාල අභියෝගයක් ලැබී තිබෙනවා. 2020 සහස්‍ර සංවර්ධන ඉලක්කය සපුරා ගැනීම අපට පහසු කටයුත්තක් නම් නොවෙයි. එම ඉලක්ක සපුරාගන්නට නම් ආයෝජන පමණක් මදි. 2020වන විට දැනට පවතින ජල සම්පාදන ක්‍රියාවලිය සපුරාලීමෙන් පසුව බිලියන 1120ක් ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්නට අපට හැකි වෙයි. ඒ අනුව නියමිත ඉලක්ක සපුරා ගන්නට අපට පුළුවන් වන බව විශ්වාසයි. නමුත් ඒ සඳහා තවත් ආයතන ගණනාවක සහයෝගය අපට අත්‍යාවශ්‍ය යි. විශේෂයෙන් ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව ආදී ආයතනයන් මේ කටයුත්ත සඳහා සහ සම්බන්ධ කොටගත යුතු වෙනවා රජයක් වශයෙන්. ජලය සුරකින්නට නම් ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කළ යුතු යි. 1950 ගණන්වල අඹතලේ, ලබුගම, කලටුවාව වගේ පානීය ජලය සඳහා ම විතරක් තිබුණු ජලාශ හැදුවට පස්සේ අපි මෑතක දී වව්නියාව ප්‍රදේශයේ එක ජලාශයක් ඉදි කළා. එවැනි ජලාශ තව අපේ රටට අවශ්‍යයි.

ඔබ දන්නවාද? අපේ විශාලතම වාරිමාර්ග යෝජනා ක්‍රම හරහා පාවිච්චි කරන ජලය 15%යි. මධ්‍යම පරිමාණයේ වාරි ව්‍යාපෘති හරහා භාවිත කරන්නේ ජලය 4%යි. ගෘහස්ථ පානීය ජලය භාවිතය 0.8%ක ප්‍රමාණයක්. කර්මාන්ත සඳහා යොදා ගන්නේ 1%ක් පමණ. මේ සියල්ල සලකා බැලුව ම අපේ රටේ ජලයෙන් 80%ක් ජලය අපතේ යැවීම අප සිදු කරනවා. අපේ රටේ ගංඟා 103ක් තියෙනවා. රටේ භූමි භාගයේ 90%ක් ආවරණය කරමින් ගංඟා ගලනවා. ඒවායිනුත් වර්ග කිලෝමීටර් 1000ක් ජලය අඩංගු ගංඟා 17ක් තිබෙනවා. ඒවගේ ම වර්ග කිලෝමීටර් 2500කට වැඩි ගංඟා ලෙස මහවැලි, දැදුරු, මල්වතු සහ කලා ඔය හඳුන්වා දෙන්නට පුළුවන්. මේ සියලු ජල මූලාශ්‍රයන් පිළිබඳ අධ්‍යයනය කරලා ඊට අදාළ සැලසුම් සකස්කරමින් පවතිනවා.

අපි දැනට පිරිපහදු කරන පානීය ජලය ප්‍රමාණය ඝන මීටර් මිලියන 1.5ක් වෙනවා. මෙය 2030දී දෙගුණයක් කිරීමේ අපේක්ෂාව අපට තිබෙනවා. ජනගහනය වැඩි වීම, කර්මාන්තවල ව්‍යාප්තිය, නාගරීකරණය සමඟ මේ අභියෝගයට මුහුණ දිය යුතු වෙනවා. අපි විකල්ප ආහාර නිෂ්පාදනය කරන්නටත් යොමුවන්නට සිදු වෙනවා. විශේෂයෙන් ම යල කන්නයේ දී.  මේ සඳහා අවශ්‍ය සැලසුම් සකසමින් ඒ අනුව කටයුතු කරමින් සිටිනවා. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, රාජ්‍ය ලේකම් මංගල තිස්ස, හිටපු ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් සරත් චන්ද්‍රවිතාන, ප්‍රංශ සහ ඉන්දුනීසියානු තානාපතිවරු, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර්, සාමාන්‍යධිකාරී දීප්ති සුමනසේකර ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.

 

ඒ. හිල්මි මොහමඩ්

මාධ්‍ය අධ්‍යක්ෂ