නැගෙනහිර විශ්විවද්‍යාලයේ රුපියල් මිලියන 335.7ක ප්‍රදානයක්

නැගෙනහිර විශ්විවද්‍යාලයේ රුපියල් මිලියන 335.7ක ප්‍රදානයක්

නැගෙනහිර විශ්විවද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයට රුපියල් මිලියන 335.7ක ප්‍රදානයක් ලබා දීමට අදාළ ගිවිසුම් අත්සන් තැබීම නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, උසස් අධ්‍යාපන අමාත්‍ය කාර්යාලයේ දී සිදු කෙරිණි. අදාළ ගිවිසුමට අත්සන් තැබුවේ නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ සහ ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සන්ධු සිං යන මහත්වරුන් විසිනි.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ අමාත්‍ය රවුෆ් හකීම් මහතා,

‘අද මෙම වැදගත් අවස්ථාව උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවට ම වැදගත් දවසක්. මක්නිසාද යත් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද ආයතනය මේ රටේ බුද්ධිමත් තාරුණ්‍යය වෙනුවෙන් සේවය සපයන ආයතනයක්. එහි මේ වනවිට උපාධි පාඨමාලා 04ක් ක්‍රියාත්මක වෙනවා. ඒවගේ ම නව පාඨමාලා දෙකක් අලුතින් ආරම්භ කිරීමට ද අවශ්‍ය සාකච්ඡා පවත්වනවා. ඒ අනුව රටේ උපාධි පිරිනමන ආයතන අතර දියුණුවට පත්වන ආයතනයක් බවට ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනය පත්වෙනවා.

මේ ප්‍රදානයතුළින් එම ආයතනයට ශ්‍රවණාගාරයක්, ශ්‍රව්‍ය දෘෂ්‍ය සංස්කරණ සහ ශබ්දාගාර පහසුකම් මෙන් ම වාහන මිලදී ගැනීම සඳහා ද හැකියාව ලැබෙනවා. මෙරට සෞන්දර්ය අධ්‍යාපනය උදෙසා ස්වාමි විපුලානන්ද ආයතනය ලබා දෙන දායකත්වය ප්‍රශංසා කළයුතු යි.

නාට්‍ය හා රංග කලාව, කර්ණාටක සංගීතය, බරත නාට්‍ය, ශ්‍රව්‍ය දෘෂ්‍ය ආධාරක කලාවන් යන පාඨමාලාවන් මෙහි දැනට පැවැත්වේ. එමෙන් ම නව පාඨමාලාවන් ලෙස ජාතික ආහාර ක්‍රමවේද හා න්‍යායයන් කලාවන් හා සමාජ නීති යන පාඨමාලාවන් 2020 දී ආරම්භ කිරීමට නියමිත ය. මෙම ආයතනයට වසරකට සිසුන් 230දෙනෙක් ඇතුළත් කර ගනී.

යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන්, සැලසුම් අධ්‍යාක්ෂ, විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ(දකුණු ආසියා) දයානි මෙන්ඩිස්, ස්වාමි විපුලානන්ද ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය එස්. ජෙයිශන්කර් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

 

ඒ. හිල්මි මොහමඩ්

මාධ්‍ය අධ්‍යක්ෂ