උතුරු හා නැගෙනහිර ඇතුළු දිවයින පුරා පානීය ජල ප්‍රශ්ණය

උතුරු හා නැගෙනහිර ඇතුළු දිවයින පුරා පානීය ජල ප්‍රශ්ණය

තුරු හා නැගෙනහිර ඇතුළු දිවයින පුරා පානීය ජල ප්‍රශ්නය විසඳීම සඳහා කඩිනම් පියවර-

අමාත්‍ය රවුෆ් හකීම්

මුහුදු ජලයෙන් පානීය ජලය සැපයීමේ ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා කෙරේ.

දැනට දිවයින පුරා ඉදිවෙමින් හා සංවර්ධනය කරමින්  පවතින මහා පරිමාණයේ ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතීනගේ තත්වයන් සහ 2019 වර්ෂයේ ජල සම්පාදන ක්ෂේත්‍රයේ යෝජිත ක්‍රමයන් පිළිබඳ උසස් මට්ටමේ සාකච්ඡාවක් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමති රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන සහ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්  පැවැත්වුණි.

නගරසැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය සහ ජාතික ජල සම්පාදන හා ජල ජලපවහන මණ්ඩලයේ සභාපති කේ.ඒ.අන්සාර්,සාමාන්‍යාධිකාරී දීප්ති සුමනසේකර ඇතුළු උසස් නිලධාරීන් හා දිවයින පුරා ක්‍රියාත්මකවන  ජල සම්පාදන ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුද මෙම සාකච්ඡාවට එක් වූහ.

එහිදී අදහස් දැක් වූ රවුෆ් හකීම් මහතා පානීය ජල ප්‍රශ්නය උග්‍රව පවතින යාපනය හා කල්පිටිය යන ප්‍රදේශයන් මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආදී ප්‍රදේශයන්හි මුහුදු ජලය ප්‍රයෝජනයට ගෙන එමගින් පානීය ජලය සැපයීමේ යෝජනාවන් සම්බන්ධයෙන් අපි කඩිනමින් ක්‍රියාකළ යුතු  බවත්,එහෙත් පොතුවිල් ප්‍රදේශයට  හැඩ ඔය මඟින් පානීය ජලය සපයන්නේ නම් එය වඩාත් සුදුසු බව  පැවසීය.

මෙහිදී කැලණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය, කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය, ඔරුගොඩවත්ත සිට කඩුවෙල දක්වා බෙදාහැරීම සහ නළ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය, අලුත්ගම, මතුගම සහ අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමය, මහ කොළඹ ජල හා අප ජල පද්ධතිය සංවර්ධනය කිරීමේ ආයෝජන වැඩ සටහන, අඹතලේ ජල සම්පාදන ක්‍රමය හා බල ශක්ති සංරක්ෂන ව්‍යාපෘතිය, ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය, කලු ගඟ ජල සම්පාදන ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය, මාතර ජල සම්පාදන ක්‍රමය (iv වෙනි කොටස ), හෙම්මාතගම ජලසම්පාදන ක්‍රමය, මාතලේ ජල සම්පාදන ක්‍රමය, නුවර උතුර හා පාතදුම්බර ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය, ආනමඩුව ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය, දැදුරු ඔය ජල සම්පාදන ක්‍රමය, අනුරාධපුර දකුණ ජල සම්පාදන ක්‍රම (අදියර -ii ), තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමය, යාපනය-කිලිනොච්චිය ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය සහ වියළි කලාප ජල හා අප ජල ව්‍යාපෘතිය යනාදී ව්‍යාපෘතීන් පිළිබඳ සාකච්ඡාවට ලක් කරන ලදී.

ඉරණමඩු ජලාශය ආශ්‍රිතව පිහිටි කිලිනොච්චිය දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයන්හි ජල නළ මාර්ගයෙන් පානීය ජලය සැපයීමේ ක්‍රියාදාමයන්හි පවතින ගැටලුද මෙහිදී සාකච්ඡා කරන ලදී.

පසුගිය දිනයන්හි ඇති වූ ජල ගැල්ම පිළිබඳව නිරීක්ෂණයක් කිරීම සඳහා එම ප්‍රදේශයට ගිය අවස්ථාවේ ඉරණමඩු ජලාශය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණු බවත් මෙම ජලාශය මඟින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගොවි ජනයාට මෙන්ම යාපනය අර්ධද්වීපයේ පානීය ජල ප්‍රශ්නය නිරාකරණය කිරීමේ හැකියාවද එමඟින් පවතින බව තමාට හැඟීගිය බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඉරණමඩු ජලාශය වෙනුවෙන් වෙනත් විකල්ප මාර්ගයන් තමාගේ අවධානයට යොමු කර ඇති නමුදු ඉරණමඩු ජලාශය මුල් කරගෙන ක්‍රියාත්මක වන ජල සැපයුම් කිසිසේත් අත්හැරිය නොහැනි බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.

මෙම සාකච්ඡාවට සහභාගී වූ යාපනය භාර ජලසම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරදිදාසන් මහතා සඳහන් කළේ යාපන දිස්ත්‍රික්කයට පානීය ජලය සැපයීමේ දී අදාළ යනත්‍රෝපකරණ සඳහා විදුලිය වෙනුවට සෝලා ශක්තිය භාවිත කිරීම වඩාත් ප්‍රයෝජනවත් වන බවයි.

සෑම දිස්ත්‍රික්කයම නියෝජනය කරන නිලධාරීන් කැඳවා ඔවුන්ගෙන් වෙන වෙනම අදහස් විමසදීමක් සිදු කරන ලද අතර ඉදිරී කෙටි කාලය තුළ දැනට ක්‍රියාත්මක කෙරෙන යෝජනාවන් කඩිනමින් අවසන් කළ යුතු බවද මෙහිදි උපදෙස් ලබා දෙන ලදී.

 

ඒ. හිල්මි මොහමඩ්

මාධ්‍ය අධ්‍යක්ෂ