උසස් අධ්‍යාපනයේ ප්‍රමිති පාලනය සඳහා

උසස් අධ්‍යාපනයේ ප්‍රමිති පාලනය සඳහා

2019 වසර මෙරට උසස් අධ්‍යාපනයේ ප්‍රමිති පාලනය සඳහා වන වසර වශයෙන් නම් කරන්නට පුළුවන්   –  අමාත්‍ය රවුෆ් හකීම්

මෙරට උසස් අධ්‍යාපනයේ ප්‍රමිති පාලනය සඳහා වූ වසර 2019 වසර බවට පත් කරන බැව් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව ප්‍රකාශකලේ 2019 නව වසරේ රාජකාරී ආරම්භ කිරීම නිමිත්තෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයන්ට සහභාගී වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අපි දන්නවා අපට මේ ලැබී තිබෙන ඉතා කෙටි කාලය තුළ මෙරට උසස් අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදු කරන්නට අපට අපහසුයි. නමුත් එහි ‘පරිවර්තනීය වෙනසක්’ සිදු කරන්නට අපට පුළුවන්. එහිදී ප්‍රධාන අරමුණු සහ කරුණු කිහිපයක් පිළිබඳව මේ වනවිට අප අවධානය යොමු කර තිබෙනවා.

ඉන් පළමුවැන්න තමයි මෙරට උසස් අධ්‍යාපනයේ ප්‍රමිති පාලනය පිළිබඳ තිබෙන ගැටලුව. අපි හොඳින් ම දන්නවා මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල 15ක් ඇතුළුව පශ්චාද් උපාධි ආයතන සහ අනුබද්ධ ආයතන රැසක් තිබෙනවා. නමුත් ඊටත් වඩා විශාල ලෙස මෙරට උසස් අධ්‍යාපන ආයතන පෞද්ගලිකව ක්‍රියාත්මක වෙනවා. ඉන් සමහරක් අමාත්‍යංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා තිබෙනවා. නමුත් බොහොමයක් එසේ නොමැතිව ප්‍රමිතිය පිළිබඳ ගැටලු මධ්‍යයේ අධ්‍යයන කටයුතු කරගෙන යනවා.

ඒ නිසා මෙම ගැටලුව විසඳන්නට නම් ස්වාධීන කොමිෂන් සභාවක් පත්කොට විශ්විවද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සහ තත්ත්වය සුරක්ෂිත කළ යුතු යි. එහි ප්‍රමිතිය ආරක්ෂා කළ යුතු යි. ඊට පිළියමක් වශයෙන් මේ වනවිටත් සකස් වී තිබෙන උසස් අධ්‍යාපනයේ තත්ත්වය සහ ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීමේ කොමිෂන් සභාවක් පත් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ පිළිබඳ මා හොඳින් අධ්‍යයනය කොට තිබෙනවා.

එමෙන් ම මේ සඳහා හිටපු උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමාගේ දායකත්වය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපති සහ උපසභාපතිවරුන්ගේ සහයෝගය මා අගය කරනවා. ඒ අනුව මෙරට උසස් අධ්‍යාපනය නිසි පරිදි ප්‍රමිතිගත කරන්නට අපට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා. එබැවින් මේ 2019 වසර මෙරට උසස් අධ්‍යාපනයේ ප්‍රමිති පාලනය සඳහා වන වසර වශයෙන් නම් කරන්නට පුළුවන්.

එමෙන් ම පසුගිය වසර කිහිපය තුළ අපේ රටේ උසස් අධ්‍යාපනය සඳහා විශාල මුදලක් වියදම් කරලා තිබෙනවා. මුදලින් කියනවා නම් රුපියල් බිලියන 60ක මුදලක් නොඑසේ නම් රුපියල් ලක්ෂ 60 000ක මුදලක් වියදම් කරලා තිබෙනවා. ඉන් අදහස් වන්නේ මෙරට උසස් අධ්‍යාපනය සම්බන්ධ ගැටලු රැසක් ඒ තුළ විසඳී ඇති බව යි.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිසු ගැටුම් සහ සිසුන්ගේ උද්ඝෝෂණ, පෙළපාලි සහ විරෝධතා පැවැත්වෙනවා. ඔවුන්ගේ ඉල්ලීම් අප වෙත යොමු කරන්නේ බොහෝ විට ඒ ආකාරයෙන්. කෙසේ වෙතත් අප බලාපොරොත්තු වෙනවා සිසුන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ට ඇහුම්කන් දී ඔවුන්ගේ ගැටලු සඳහා පිළියම් සකසා දීමට. ඒ සඳහා ඉවසීම අවශ්‍ය වෙනවා. ඒ අයගේ ගැටලුවලට මැදිහත් වෙලා පිළිතුරු ලබා දෙන අතර ම විශ්වවිද්‍යාල පද්ධතියේ විනය ආරක්ෂා කිරීම වෙනුවෙන් කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බව ද අවධාරණය කළ යුතු යි.

ඒවගේ ම මේ ගැටලු මැද තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන අදෘෂ්‍යමාන දේශපාලන හස්තයන් පිළිබඳව ද අප හොඳින් දැනුම්වත්ව සිටින බවත් පැවසිය යුතුම යි. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා, උප සභාපති මහාචාර්ය පී.එස්.එම් ගුණරත්න මහතා, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නයුමුල්ලා මහතා, අමාත්‍යංශ අතිරේක ලේකම්වරු ඇතුළු විශාල පිරිසක් ද එක් වූහ.

 

 

 

ඒ. හිල්මි මොහමඩ්

මාධ්‍ය අධ්‍යක්ෂ