රාජ්‍ය අමාත්‍ය හා ලේකම් තුමන් වැඩ භාරගත් අවස්ථාව

රාජ්‍ය අමාත්‍ය හා ලේකම් තුමන් වැඩ භාරගත් අවස්ථාව

ප්‍රවෘත්ති නිවේදනය

“මනෝරාජික ලෝකවල ජීවත්වෙමින් ජනතා අභිලාෂයන්ට පයින් ගැසීමට මම කිසිසේත් සූදානම් නැහැ. ජනතා අපේක්ෂාවන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් වගකීම ඉටු කරන්නට බලාපොරොත්තු වෙනවා” යැ යි නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ අද දින (2018/12/26) බත්තරමුල්ල පිහිටි නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යංශ පරිශ්‍රයේ දී එහි රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් වූ ලකී ජයවර්ධන මැතිතුමාගේ සහ එහි අභිනව ලේකම් වශයෙන් පත්වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතා රාජකාරී ආරම්භ කිරීම සඳහා පැවති උත්සවය අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මහජනතාවගේ අතශ්‍යවශ්‍ය ම දෙයක් ජලය. එය සාමාන්‍ය ජීවිතයේත් එමෙන් ම නියං සමයක් වේවා නොඑසේ නම් ජල ගැල්මක් වේවා මොන ම ස්වභාවික ව්‍යසනයක් වේවා එම අවස්ථාවේ දී ජලය අත්‍යවශ්‍ය ම සාධකයක්. ඒ නිසා එම කටයුත්ත ඉටු කිරීමට ලේකම්තුමා ඇතුළු සියලු ම කාර්ය මණ්ඩලයේ සහයෝගය මා බලාපොරොත්තු වෙනවා.

මම සාමාන්‍යයෙන් මනෝරාජික ලෝකවල ජීවත්වෙන කෙනෙක් නොවෙයි. ජනතාවගේ අවශ්‍යතාව තේරුම් ගෙන ලද අවස්ථාවෙන් ජනතාව වෙනුවෙන් සේවය කිරීමට මා බැඳී සිටිනවා මෙන් ම කළ යුතු දේ කළ හැකි දේ හැම විට ම ඉටු කිරීමට කටයුතු කරන්නට පොරොන්දු වෙනවා. මගේ දේශපාලනයේ 25අවුරුද්දක් තුළ ජනතාව වෙනුවෙන් ඉටු කරන්නට යෙදුණු කටයුතු පිළිබඳ අපේ ජනතාව දන්නවා. ඒවගේ ම තනතුරු තිබුණත් නැතත් ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නට මම සූදානම්. එය ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය වේවා කුමක් වුව ද ගැටලුවක් නැහැ.

පසුගිය මාස දෙක තුළ රටේ දේශපාලනයේ ඇති වූ අර්බූදයන් ගැන මේ අවස්ථාවේ කථා කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. මම විශ්වාස කරනවා එම ගැටලුව මේ වනවිට අවසන් වෙලා කියලා. ඒ පිළිබඳ පොතක් ලියන්නට වුවත් මට පුළුවන්. හැබැයි එහෙම පොතක් ලිවුවොත් අපේ පැත්තේ අයගේ වගේ ම විරුද්ධ පැත්තේ අයත් අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒ නිසා ඒ පොත ලියන එක දේශපාලනයෙන් විශ්‍රාම ගත් පසු සිදු කරන්නට මා අදහස් කරනවා. යනුවෙන් ද පැවසී ය.

එහිදී අදහස් දැක්වූ නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා,

රවුෆ් හකීම් ඇමතිතුමා සමඟ මම ඉතා කිට්ටුවෙන් කටයුතු කරලා තිබෙනවා. එතුමා සමඟ රාජකාරී කරන්නට ඉතා ම පහසුයි. බොහොම නම්‍යශීලී මහත්මයෙක්. මම හිතනවා මේ ලද අවස්ථාවෙන් රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් වන පානීය ජලය ලබාදීමේ කටයුත්ත නිසි පරිදි ඉටු කරන්නට ගරු අමාත්‍යතුමා සමඟ එක්වෙලා. රටේ ජනතා අපේක්ෂාවන් සඵල කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය අමාත්‍යංශයේ සියලු ම නිලධාරීන්ගෙනුත් මා බලාපොරොත්තු වෙනවා. යනුවෙන් පැවසී ය.

නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් අභිනවයෙන් පත්වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතා ව්‍යාපාර පරිපාලන කලමනාකරණ උපාධිය (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) නීතිවේදී උපාධිය (විවෘත විශ්වවිද්‍යාලය) නීතිඥ උපාධිය ( ශ්‍රී ලංකා නීති විද්‍යාලය ) බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධිය (කැලණිය විශ්වවිද්‍යාලය ) වෘත්තිමය රාජ්‍ය තාන්ත්‍රිකත්වය  හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඩිප්ලෝමාව (බණ්ඩාරනායක ජාත්‍යන්තර පුහුණු මධ්‍යස්ථානය ) යනආදී විෂයන් වලින් උගත් ජ්‍යෂ්ඨ පරිපාලන නිලධාරියෙක් වන ප්‍රියන්ත මායාදුන්න මහතා මීට පෙර අතිරේක ලේකම් ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය, ලේකම් විශේෂ කාර්යභාර්ය අමාත්‍යාංශය,  රාජ්‍ය ලේකම් රාජ්‍ය ව්‍යවසාය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ලේකම් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ලේකම් ධීවර, ජලජ සමපත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශවල සේවය කර ඇත.

මෙම අවස්ථාවට හිටපු ලේකම් වසන්ත හපුආරච්චි, අතිරේක ලේකම්වරුන් වන පාලිත වීරසිංහ, ඒ.සි.එම්. නෆීල්, එල්. මංගලිකා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර්. උප සභාපති එම්.එච්.එම් සල්මාන්, සාමාන්‍යධිකාරී දීප්ති සුමනසේකර, ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජයතිලක හේරත්, පෞද්ගලික ලේකම් එම්. නයිමුල්ලාහ් ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන් එක්වුහ.

 

ඒ. හිල්මි මොහමඩ්

මාධ්‍ය අධ්‍යක්ෂ