මාධ්‍ය නිවේදනය

මාධ්‍ය නිවේදනය

මේ රටේ බුද්ධිමත් තරුණ තරුණියන්ට රැකියාභිමුඛ උපාධියක් (Livelihood oriented) ලබාදීම අපේ අරමුණ යි. එය කෙටි කාලීනව ඉටුකර ගැනීම අපහසු වුවත් එය සිදු කළ යුතු යි. එමෙන් ම විශ්වවිද්‍යාල සිසුන් සමඟ සුහදව ගැටලු නිරාකරණය කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. යනුවෙන් නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා අද දින (21) උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ දී ස්වකීය රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව පැවැත්වු මාධ්‍ය හමුවේදී පැවසීය. එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මේ රටේ ව්‍යවස්ථාදාකයත් අධිකරණයත් ඉතා ම ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටි අවධියේ ඉතා ධෛර්ය සම්පන්නව කටයුතු කිරීම නිසා අපට නැවත මේ තත්ත්වයට පත්වීමට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් මේ ඇමති ධූර තාවකාලිකයි කියා අප සහියේ තබාගත යුතුයි කියලත් මේ මොහොතේ පවසන්නට කැමතියි. මෙය මහමැතිවරණයකින් පසුව ඇමති ධූර පිරිනැමීමක් නොවෙයි. ඉදිරියේ දී අපට මැතිවරණ කීපයකට මුහුණ දීමට සිදු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපිට මුලින් ම මුහුණ දෙන්න වෙන්නේ කුමන මැතිවරණය ද කියන එක තවමත් කියන්නට අමාරුයි. තම තමන්ගේ ආත්මාර්ථකාමී වුවමනාවන්ට අනුව මැතිවරණය කැඳවීමක් නොකර රට වෙනුවෙන් සිතා මැතිවරණයක් ලබා දීම අප හමුවේ තිබෙන ප්‍රධානතම අභියෝගය යි.

අතිගරු ජනාධිපතිතුමාට ජනවාරි 08න් පස්සේ මැතිවරණයක් ලබා දෙන්නට පුළුවන්. නමුත් තිබෙන ගැටලුව තමයි එතුමාට තරඟ කරන්නට සිදු වීම. මේ රටේ මතු පරම්පරාව මට භාර දීලා තිබෙනවා. මම දන්නවා මේක විශාල වගකීමක්. ඇතැමෙක් කියනවා මේක මට විශාල හිසරදයක් වේවි කියලත්. නමුත් මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සමඟ සාකච්ඡා කළා. සතියකට කීප වරක් මෙම අමාත්‍යාංශය ඉදිරියට විශ්වවිද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂණ පැමිණෙනවා කියලා මම දැන ගත්තා. ඒවා අපි පුළුවන් ආකාරයෙන් නිරාකරණය කර දීමට අවශ්‍යයි.

නමුත් මෙහි දී මතුකළ යුතු කරුණක් තියෙනවා. ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා  “අවුරුදු 20 දී කිසියම් තරුණයක් විප්ලවවාදියෙක් වුණේ නැත්නම් ඔහුගේ මොළයේ කිසියම් අඩුවක් තිබෙන බවත් එමෙන් ම අවුරුදු 40 දීත් ඔහු එම අදහස් ඉවත් කර ගත්තේ නැත්නම් එය ද ඔහුගේ මොළයේ අඩුපාඩුවක්” බව. අපි මෙය අවබෝධකරගෙන තිබිය යුතු යි. ගැටලු විසඳන්නට නම් අනිවාර්යයෙන් ම ඒ පිළිබඳ අප අවබෝධයකින් සිටිය යුතු යි.

ලැබී තිබෙන කෙටි කාලය තුළ විශාල යමක් කරන්නට අපට අපහසු වෙයි. නමුත් ඒ තුළ අපට කළ හැකි උපරිමය රට වෙනුවෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ‘රැකියාභිමුඛ උපාධියක්’ මේ රටේ උගත් තරුණ තරුණියන්ට ලබාදීම අපේ අරමුණයි. එම කටයුත්ත සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාව ද සමඟ එක්ව කටයුතු කරන්නට අපේක්ෂා කරනවා.

ඒ අතරතුර රටේ දේශපාලන අධිකාරියන්ට මම ඉතා ඕනෑකමින් කියන්න කැමතියි ‘තම තමන්ගේ පෞද්ගලික අභිමථාර්ථයන් සාධනය උදෙසා ආත්මාර්ථකාමීව කටයුතු නොකර රට වෙනුවෙන් දේශපාලන තීන්දු ගන්න’ ලෙස. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනප්‍රියතම රාජ්‍ය නායකයෙක්. අවාසනාවකට එතුමාට අවශ්‍ය වුණේ මේ රටේ සදාකාලික නායකයා වන්නටයි. ඒ නිසා ජනතාව විසින් එතුමාව ප්‍රතික්ෂේප කළා. එතුමාට තුන්වන වාරයේ ජනාධිපතිවරයා වෙන්නට නොහැකි වුණා. මේක රටේ හැම දේශපාලන නායකයකුට ම හොඳ පාඩමක් බැව් සිහිපත් කළ යුතු යි.

අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා, එතුමා බුද්ධියට කථාකරන නායකයෙක් මිස හැඟීම්වලට කථාකරන නායකයෙක් නොවෙයි. රටේ සිදුකළ ව්‍යවස්ථා සංශෝධනය එක් පුද්ගලයෙක් වෙනුවෙන් නොවෙයි රටක් වෙනුවෙන් සිදු කළ දෙයක්. ඒ නිසා පුද්ගල උවමනා එපාකම් පිළිබඳ නොමැතිව රට වෙනුවෙන් සිතා කටයුතු කරන ලෙස මා ඉතා ගෞරවයෙන් දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටිනවා.  යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා පූජ්‍ය දඹර අමිලහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම් ෆවුසි, ෆයිසර් කාසීම්, එම්.අයි.එම්.මන්සූර්, අලි සාහිර් මවුලානා, එම්.එස්. තවුෆික්, හිටපු නැගෙනහිරි පළාත් මහ ඇමති හාෆිස් නසීර්, ලේකම්වරුන්වන වසන්ත හපුආරච්චි සහ පද්මසිරි ජයමාන්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති  කේ.ඒ .අන්සාර් මහතා, පෞද්ගලික ලේකම් එම්.නයමුල්ලා ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.